Monday, October 9, 2017

අද උදෑසන දුටු රැකියාවෙන් "ජීවිතය" සිර නොවූ ගුරුවරියන්



මේ මගේ පුතා යන ප්‍රාථමික පාසලේ ගුරුවරියන් කිහිප දෙනෙක්.. මේ පන්ති වල ස්වේච්ඡාවෙන් වැඩ කරන්න කලින්  මං හිතුවේ මේ ගුරුවරුන් හරිම  නිදහස් හරි සැහැල්ලුවෙන් දවස පුරාම සිනා මුසු මුහුණින්  ඉන්න නිසා කරන්න තියන්න වැඩත් ඒ තරන්  බරපතල නැතුව ඇති කියල.. ඒත් දවසක් දෙකක් ඒ අය එක්ක වැඩ කරද්දි තමයි තේරුනේ මොන තරන් සංකීර්ණද කියලා කරන්න තියන වැඩ.. දරුවන්ගේ කාලය ගෙවෙන්නේ කිසිම පීඩනයක් නැති විනෝදෙන් දැනුම හොයා ගෙන යන්න පුලුවන්  විදිහකට.. එහෙම හදන්න මේ දවස පුරා හිනාවෙවි ඉන්න ගුරුවරු ගන්න මහන්සිය කොයි තරම් ද කියන එක වචනයෙන් කියන්න අමාරුයි තමන්ගේ හැඟිම් පාලනය කරගෙන....

එක පන්තියක ඉන්නේ වැඩිම උනොත් දරුවන් 20යි .. ඒ 20 දෙනා ගැනම තනි ගුරුවරයෙක් විද්‍යානුකූලව සකස් කෙරුනු අධ්‍යනයක් කරන්න ඕනෙ කරුණු එකතු කරන්න.. ඒ එකතු කරගත් කරුණු එකට කැටි කරලා පන්තියේ ඉන්න හැමෝටම පහසුවෙන් කරන්න පුලුවන්  විදිහට තමයි විෂය නිර්දේශයේ තියන කරුණු වලට ක්‍රියාකාරකම් හදන්නේ.. මෙන්න මේ නිසා එකම වසරේ උනත් හැම පන්තියකම එකම විදිහකට නෙමේ වැඩ කරන්නේ.. දරුවන් කොටු වීමක් මෙතනදි දකින්න ලැබෙන්නේ නැහැ.. ක්‍රියාකාරකම් රැසකින් තමන් කැමති දේවල් තෝරාගෙන කරන්න ඉඩ හදලා තියෙන්නේ   අකමැත්තෙන් බලෙන්  දරුවෙක් හරියට ඉගෙන ගන්නේ නැහැ කියන දේ පදනම් කරගෙන. එතනදි ගුරුවරයගේ තියන නිර්මාණශීලීකම ගොඩක් හොඳින් දැක ගන්න පුලුවන්.. මේ පන්ති වල මටත් වැඩ කරන්න තිබුනේ පුදුම ආසාවක්.. ඒ තරන්  නැවුම්, පිළිවෙලයි හරි ලස්සනයි වගේම හරි සිත් ඇඳගන්නා සුලුයි..

ගුරුවරයෙක්ට තියනවා  ළමයෙක්ගේ ඉගෙන ගැනිමේ හැකියාව විතරක් නෙමේ හැසිරීම ගැනත් විස්තර එකතු කරන්න.. හැසිරීම වඩා හොඳට අතට හරවන්න ක්‍රියාකාරකම් හදන්නත් තියෙනවා ..හැබැයි ගුටි බැට, බැනුම්  නම් නැ හොඳේ.. ඒ වෙනුවට හරි සියුම් දියුණු මානුෂීය විද්‍යාත්මක උපක්‍රම භාවිතා වෙනවා කිසිම දරුවෙක් අපහසුතාවයට පත් නොකර.. එහෙම නැතුව ගුරුවරයගේ පීඩනය දරුවන්ගේ පිටින්වත් දෙමාපියන්ගේ පිටින්වත් යවන්නේ නම් නැ...ඒත් එක්කම පාසැලෙත් ඉන් පිටතත් ගුරුවරයා කියන්නෙ තවත් එක මනුස්සයෙක්.. රස්සාවෙන් පීඩනය නොවිය යුතු කියන එකත් ගොඩක් හොඳින් අපිට පේන දෙයක්..  ඒ ගැනත් වෙනමම විශේෂ පාඨමාලා වැඩමුලු  මේ ගුරුවරුන්ට නිරන්තරයෙන්ම සහභාගි වෙන්න තියනවා නව දැනුම එකතු කර ගන්න ඉගැන්වීම යනු කුමක් ද කියා ඉගෙන ගන්න.


ඒ වගේම විශේෂ අවශ්‍යතා තියන දරුවන් ගැනත් මේ සැහැල්ලුවෙන් ඉන්න හැම ගුරුවරියක්ම ගුරුවරයෙක්ම ඉගෙන ගන්න ඕන, ඒ පිළිබඳව හදාරන්න ඕන.. එවැනි දරුවෙක් තමන්ගේ පන්තියේ ඉන්නවා නම් ඒ දරුවටත් කරන්න පුලුවන්  විදිහට තමයි ක්‍රියාකාරකම් හැදෙන්නේ.. ඉතින් බලන්න මේ ඉතා සංකීර්ණ ක්‍රියාවලියක බර දරන මේ ගුරුවරියන්ගෙ බාහිර පෙනුම.. ඔවුන්ගේ ඇඳුම් පැලඳුම්.. සිරවීමක් නැතිව ඔවුන්ව කොයි තරන්  නිදහස් කරලද මේ බැරෑරුම් කාර්ය්‍ය හරියට කරන්න.. 


මේ හිනා වෙලා සැහැල්ලුවෙන් ඉන්න තරුණ ගුරුවර ගුරුවරියන්ට  තවත් භාරදූර රාජකාරියක් තියනවා කරන්න.. ඒ තමයි අවුරුද්ද පුරාම මේ දරුවන් ඇගයීමකට ලක් කරන්න කිසිම විදිහකින් එකිනෙකා අතර තරඟකාරි බවක් ඇති නොවෙන්න.. මේ ඇගයිම් දෙන්නේ උත්සහයෙන් වැඩ කලාට, හොඳ හැසිරීමට,පොත් කියවන්න උනන්දු කරන්න, සහභාගි උනාට වගේ දරුවන් දිරි ගන්වන විදිහකට  මිසක් ඉතා හොඳයි කියන්න නම් නෙමේ.. තමන් තමන් එක්කම කාලය හරහා  සසඳා බැලිමක් මිස අනිත් අය එක්ක තමන් සසඳා බැලිමක් මෙහිදි වෙන්න ඉඩක්  නැහැ..තරඟය තියෙන්නෙ තමන් එක්කමයි.  මේ ක්‍රමය නිසා ජිවිතය කියන්නේ ටිකින් ටික සතුටෙන් සැහැල්ලුවෙන් විනෝදෙන් අනිත්  අයට කරදරයක් නැතුව දිනිය යුත්තක් බව දරුවන්ට වටහා ගන්න ඉඩ හැදෙනවා

හැබැයි  ඉතින් ආසියාතික දෙමාපියන්ට මේ ක්‍රමය දිහා ඉවසිල්ලෙන් බලන්න ඉන්න අමාරුයි තමන්ගේ දරුවට බලපෑම් නොකර ඉක්මනින් ඇගයීම් අරන් GOLD AWARD එකක් ගන්න අනිත් දරුවන්ට කලින්..

අනිත් එක තමයි මේ ගුරුවරු දරුවන් අතරින්ම අනිත් අයට උදව් කරන්න පුලුවන්  විදි හදන එක.. උදාහරණයකට මගේ පුතාට එයාගේ වයසේ අනිත් දරුවන්ට වඩා හොඳින් ඉක්මනින් නිවැරදිව කියවන්න පුලුවන්.. ඉතින් එයාගෙ පන්තියේ ගුරුතුමිය එයාව උනන්දු කරනවා අනිත් අයට කියවීම කියලා දෙන්න.. ඉතින් ඒ නිසා ලොකු වෙනකන් ඉන්න ඕන නැ මේ දරුවෝ පුංචි කාලේ ඉඳලම රටට මිනිස්සූන්ට තමන්ගේ හැකියාවෙන් ඵලදායි දෙයක් කරන්න පෙළබෙනවා තමන්ගේ හැකියාවන් ගැන අධිමානයක් නැතුව නිහතමානිව.. 

No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.